අත්තම්මා


                                                                ........... අත්තම්මා........

  

  ඒක මහ මූසල  හැන්දෑවක්. කන ළගින්ම ඇහෙන බකමූණගෙ සද්දෙට ඇහුන්කන් දීගෙම ඇදට වැටුනෙ මට තිබ්බ මහන්සියට. බස් එකේ පොල් පටවනවා වගේ සෙනග. මොනවා කරන්නද ගමට යන අන්තිම බස් එක මිස් කරගන්න බැරි නිසාම කැම්පස් එකෙන් කුරුණෑගල බස් එකට නැග්ගෙ දෙපාරක් නොහිතමයි. ආවයින් ආවේ නෑ එහෙම ගමනක්. තාමත් ඇගේ අමාරුව.

          ටීක් ටීක් ටීක්. ඇස් දෙක පියාගෙන විනාඩියක් ඉන්න ලැබුනේ නෑ. මගෙ සරසවි කුමාරි.

          

          " ඔයා පරිස්සමෙන් ආවා නේද සුපුන් "

          

          කෙටි පණිවිඩයත් එක්ක එව්වෙ ඒ ඇගේ ආදරේ.නිපුනි, ඇය මට හමුවුනේ සරසවියෙ පළමු වසර අගභාගයේදි. අවසන් වසර නිමවෙන්න ආසන්න වනතුරුත් ඇගේ ආදරේ එහෙමමයි. අපේ ආදරේ එහෙමමයි.

 පිළිතුරු කෙටි පණිවිඩයක් ඇයට යවා යළිත් දෑස පියාගත්තේ විඩාබර ගතට හිතට විවේකයක් ලබාදෙන්න හිතාගෙන. 

            පැයක්, දෙකක්, නෑ පැය ගානකට පස්සෙ අවදි උනේ මන් හිතේ නිදහසින්. 

      

        "  අත්තම්මේ........අත්තම්මේ......., ලයිට් එකක්වත් නොදා මෙයා කොහෙ ගියාද ?"


         තාමත් මුලුතැන්ගෙය අදුරෙ. කලින් තිබුනට වඩා වැස්ස පායලා වුනත් අන්ධකාරේ අඩුවක් නෑ. 

         " අත්තම්මේ..... අත්තම්මේ අත්තම්මේ ඔයා කොහෙද ? "

         හරියටම හැන්දෑවේ හය වෙන්න කලින් බුදුන්ට පහන තියන එක අත්තම්මගෙ පුරුද්දක්. බුදු කුටියත් අදුරෙහිම තිබූ නිසා හිත නොසන්සුන් වෙන්න වැඩ වෙලාවක් ගියෙ නෑ.

         තාත්තගෙ මරණෙත් එක්ක අම්මා වෙන මනුස්සයෙක් එක්ක ගමෙන් ගිය දා ඉදලා මාව උස් මහත් කළේ අත්තම්මා. අත්තම්මගෙ එකම දරුවා වුනේ තාත්තා. ඒ හින්දා එයාගෙ එකම මුණුපුරා වුණෙත් මම. කිළිනොච්චි යුද්ධෙදි ඒ දවස් වලම මගෙ සීයා  නැතිවෙලා. අත්තම්මටවත් අවසාන මොහොතෙවත් සීයව බලාගන්න හම්බෙලා නෑ. සීයගෙ නමට ලැබෙන පඩියෙන් තනියම මගේ තාත්තවත් උස්මහත් කරපු අත්තම්මට තනියෙන්ම මාවත් බලාගන්න වුනා.

         " අත්තම්මේ..... අත්තම්මේ......"


          ළඟ අහල පහළක හිටියා නම් උන්දැ මෙළහට ඇවිදින්. ඒ තරම් මං හයියෙන් කෑ ගැහුවා. ආයෙම හිතට මූසල හැගීමක් ගොඩවෙද්දි  කළුවරේම වත්ත පහළට දුවන් ගියේ හතියවත් වැඩිවෙලා වැටිලා ඉන්නවදවත් කියලා බලන්න. පේනතෙක් මානෙක අත්තම්මගෙ සේයාවක්වත් නැතිකොට කරදඩු උස් මහත් වෙලා ඉලංදාරියෙක් වුණාට ඇස් වලට කදුළු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

          මට හැමදේටම හිටියෙ අත්තම්මා.මට මේ තරම් හොදට උගන්නලා මාව මේ තැනට ගෙනාවෙ අත්තම්මා. එක එක ජාතියෙ යාලුවො එක්ක ආස්‍රය කළත් අදටත් අරක්කු සිගරට් නොබී ඉන්නෙ අත්තම්මා නිසා. එයා තමා මගෙ හැමදේම. පුංචිම කාලෙ මතකයක් ඇරෙන්න අම්මා තාත්තා ගැන කිසිදෙයක් හිතේ නොතිබුනේ අත්තම්මගෙ ආදරේ නිසාම වෙන්න ඇති. එයාට කවදාවත් මාව බරක් උනේ නෑ. අත්තම්මව ගෙදර තනියෙන් දාලා කැම්පස් යන්න බෑ කියලා කෑ ගහලා කියද්දිත් මාව බලෙන්ම කැම්පස් යැව්වෙ අත්තම්මා.


            කොහෙවත්ම අත්තම්මා පේන්න නැති කොට දාරාගන්න බැරි වේදානාවකින් ආයෙම ඔලුව බර වෙනකොට ළගම තියන පුටුවට බර වුනේ ඇගට පණ නැනිවෙනකොට.


             " මං තනිවෙයිද ?. අත්තම්මා මාව දාලා ගිහින්ද ? අවුරුදු විසිගානක් යනකනුත් මාව දාලා නොගිය අත්තම්මා මාවා දාලා යාවිද ? මටත් පිස්සු  "


          වැස්ස කියලා නොබලම තෙමි තෙමීම එළියට බැස්සෙ අත්තම්මව හොයන්න. එන්න එන්න වැස්ස වැඩි උනත් මට ඒක දැනුනේ නෑ. මඩ පිරුණු ගුරු පාර දිගේ වේගෙන් ඇවිදන් ගියේ තවත් කළුවර වැටෙයි කියලා බයටම.  


        "  දෙයියනේ මට ඉන්න අත්තම්මා විතරයි. අනෙ එයාව ඉන්න තැනකින් පරිස්සම් කරන්න. " 

         දෙයියො බුදුන්ගෙන් ඉල්ලන්න තිබුනේ මට එච්චරයි. 

         " අයියේ, අපේ අත්තම්මාව දැක්කද ? උන්දැ ගෙදර නෑ. හැමතැනමත් බැලුවා. "


          " මේ වැස්සෙ මැගිලින් නැන්දා කොහෙ ගියාද ?  යමන් යමන් මමත් එන්නම්. නැගපන් ඉක්මනට "

           බයික් එකේ වැඩිදුරක් යන්න ලැබුනේ නෑ. කැඩුනු කුඩේත් ඉහළන් හෙමි හෙමින් එන්නෙ අත්තම්මා. ඇගට ලේ ටිකක් ඉනුවේ දැන් තමා. දෙවියන්ට ස්තූති  වේවා.


            "  කොහෙද දෙයියනේ අමාරු තියාගෙන මේ වැස්සෙ ගියේ. මං හොදටම බය වුනා. හැමතැනම හෙව්වා. මොනහරි උනා නම් එහෙම. "

            වරදක් කර හසුවුන දැරියකගේ මෙන් සිනහවක් ඇගේ මුවෙහි සටහන් වුනේ නිතැකින්මයි.

            " උක්කුං වැව් මාලු කන්න ආසයි නෙහ්. මං මේ සිරිදාසලගෙ ගෙදරට ගියෙ වැව් මාලු ටිකක් අරන් එන්න. කොහෙද මේ වැස්සක් ආවා නෙහ්. පායනකන් ඉන්නෙ නැතුවම ආවා තවත් රෑ වෙන හන්දා "


               වචනයෙන් කිව නොහැකි සෙනෙහසක් ඈ ගැන දැනුනි. 

               

               " අනේ කුමාර අයියෙ අත්තම්මව ගෙදරින් දාන් පලයන්. මං එන්නම් හිමීට. "


      ඇගේ සෙනෙහසට තවත් උපමා අවැසි නැත. තෙමාගෙන ආ දෑස් පිසදාගෙන මම ද ඔවුන් පසු පසුම වැටුනෙමි.


                                                        ✍  සචින්තක ✍

Comments

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ